දුමින්ද සිල්වාගේ සබඳතා ගැන 'වෙලේ සුදා' මහාධිකරණයේදී සාක්ෂි දෙයි

2:09 PM Rasika 0 Comments

දුමින්ද සිල්වාගේ සබඳතා ගැන 'වෙලේ සුදා' මහාධිකරණයේදී සාක්ෂි දෙයි

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සඳහා ණය මුදලක් ලෙස රුපියල් මිලියන 2ක් ලබා දුන් බව අද (12) කොළඹ මහාධිකරණයේදී ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' නමැත්තා සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබේ.
හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' නමැත්තාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කිරීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ඊයේ (11) තීරණය කෙළේය.
අද දිනයේ කොළඹ මහාධිකරණයේ දී එම නඩුව කැඳවූ අවස්ථාවේදී වෙලේ සුදා නමැත්තා සාක්ෂි ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසු සුදුවෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.‘ 
මහාධිකරණ හමුවේ පැය දෙකක් තිස්සේ 'වෙලේ සුදා' නමැත්තාගෙන් රජයේ නීතිඥවරයා විසින් තවමත් සාක්ෂි විමසමින් සිටින බව වාර්තාවේ.
'වෙලේ සුදා' නමැත්තාගේ වැටලීම සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් හා රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්කි කැඳවීම ඊයේ (11) ආරම්භ කෙරුණි. 2008/12/14 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකාර වෙලේ සුදා නමැත්තාට එරෙහිව අධිචෝදනා නගා ඇත.
දැනට රහස් පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා සිටින විත්තිකාර වෙලේ සුදා නමැත්තා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රහස් පොලිස් නිලධාරීන් භාරයේ නඩු විභාගය සඳහා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

0 comments: